ස්වාමීන් වහන්සේ පිළිබදව

දකුණු පළාතේ වැලිගම නගරයට ආසන්නව පිහිටි පාතේගම ග්‍රාමයේ, වර්ෂ 1961 ක් වූ නොවැම්බර් මස 16 වන දින උපන් පින්වත් කුමරු 1977 වර්ෂයේදී කොටවිල ශ්‍රී සුනන්දාරාමයේ දී පැවිදි විය.

උන්වහන්සේගේ පැවිදි උපාධ්‍යයන් වහන්සේලා වූයේ කොටවිල පේමරතන මහා සමින්ද්‍රයානන් වහන්සේ පණ්ඩිත තොටවිල ශ්‍රී දීපානන්ද  සමින්ද්‍රයානන් වහන්සේ, ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක සමින්ද්‍රයානන් වහන්සේ සහ තොටවිල ශ්‍රී පේමාලෝක නායක සමින්ද්‍රයානන් වහන්සේලාය.

මූලික අධ්‍යාපනය තම ගුරුවරයන්ගෙන් ලබා අනතුරුව මාතර මහා මහින්ද පිරිවෙන් ආයතනයෙන් සහ කොළඹ නුගේගොඩ සුභාද්‍රාරාමයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් බී. ඒ ගෞරව උපාධියක් ලබාගත් අතර විද්‍යෝදය පශ්චාත් උපාධි ආයතනයෙන් එම්. ඒ උපාධිය ලබාගත් උන්වහන්සේ 1983 වර්ෂයේදී මල්වතු මහා විහාරයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන ලදී.

හුදකලාව ත්‍රිපිටක ධර්මය ගැඹුරින් හදාරමින් කුඩා කල සිට කරනු ලබන භාවනා පුහුණුව දියුණු කර ගනිමින් කලක් හොරණ දෙකදුවල  භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය  වරයෙකු ලෙස ක්‍රියා කළහ. තරුණ අවදියේම ජාතික ගුවන්විදුලියේ සහ රූපවාහිනී මාධ්‍ය මගින් ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සිදුකල උන්වහන්සේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ පෝ දා ධර්ම සාකච්ජාව මගින් බොහෝ ගිහි පැවිදි බෞද්ධයන්ගේ ගෞරවයට හා ප්‍රසාදයට හේතු විය.

උන්වහන්සේ තමන් වහන්සේගේම මූලිකත්වයෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඉදිකළ ආනන්ද බෝධි ධර්මායතනයත් මහනුවර ඉදිකළ ආනන්ද බෝධි විවේකාශ්‍රමයේත් වැඩ වාසය කරමින්  එදා සිට අද දක්වාම ගිහි පැවිදි විශාල පිරිසකට ධර්ම ඥානය ලබා දීමට කටයුතු සලස්වමින් වැඩ සිටිති.